
“මෙවර යල කන්නයේ සමස්ත වගාව වෙනුවෙන් පවතින යූරියා තොග වී වගාව සඳහා ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්නය තමයි අපි යල කන්නයේ සුළු වශයෙන් හෝ බඩඉරිඟු වගා කරනවා. ඒ වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 12,800ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම එළවළු, පලතුරු සහ අල බෝග වගා කරනවා. මේවා වෙනුවෙන් ද මුල් මාස හයේ යූරියා මෙට්‍රික් ටොන් 43,000ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම තේ, රබර්, පොල්, ගම්මිරිස් යනාදී බහු වාර්ෂික බෝග වෙනුවෙන යූරියා මෙට්‍රික් ටොන් 62,000ක් පමණ අවශ්‍ය වෙනවා. මේ අනුව සමස්ත බෝග වගාව නිසි ආකාරයෙන් කර ගන්න අවශ්‍ය පොහොර ප්‍රමාණය අප සතුව නැහැ”
‘ආහාර’ යන්නට පුළුල් අර්ථකථනයක් තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන හරහා ලබා ගන්නා එළවළු, ධාන්‍ය, පලතුරු මෙන්ම කිරි, බිත්තර, මස් ඇතුළු සත්ත්ව ආහාර මෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ද ඒ අතර තිබේ.
ආහාර බෝගයක් වගා කිරීමෙන් අපේක්ෂා කරනුයේ මානව වර්ගයාට අවශ්‍ය ආහාර එකී බෝගය හරහා ලබා ගැනීමය. බෝගයක් අපේක්ෂිත ආකාරයට වර්ධනය කර ගැනීමට ජලය සහ ආහාර ලබාදිය යුතුය. ජලය සහ ආහාර අවශ්‍ය වේලාවේ දී ප්‍රමාණවත් තරමින් ලබා නොදෙන්නේ නම් ශාකයේ වර්ධනය බාල වීම හෝ එය විනාශ වී යාම සිදුවේ.
“ශාකයකට අවශ්‍ය ආහාර අපි ලබා දෙන්නේ පෝෂක හැටියට. මේ පෝෂක ලබා දෙන ප්‍රධානතම ප්‍රභවය තමයි පොහොර ලෙස සැලකෙන්නේ” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේය.
මෙහි දී මහාචාර්ය මාරඹේ පෙන්වා දුන්නේ පොහොර මෙන්ම ‘යෙදවුම්’ ද කෘෂිකාර්මාන්තයේ දී කේන්ද්‍රීය සාධකයක් බවයි. කෘෂිකර්මාන්තයේ මූලික යෙදවුම් ලෙස බීජ සහ රෝපණ ද්‍රව්‍ය සැලකෙන බව කී මහාචාර්ය බුද්ධි මාරඹේ දෙවැනි යෙදවුම ලෙස පොහොර ද තෙවැනියට පළිබෝධනාශක ද, සිව් වැනි යෙදවුම ලෙස යන්ත්‍රෝපකරණ සැලකෙන බව සඳහන් කළේය.
“පස්වැනි යෙදවුම තමයි මේ සියල්ල ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මානව ශ්‍රමය. ඒ වගේම වැඩි අවධානයක් හෝ වටිනාකමක් නොදුන්නත් වර්තමාන කෘෂිකර්මාන්තයේ ප්‍රධාන යෙදවුමක් ලෙස ඉන්ධනත් සැලකෙනවා. අවශ්‍ය නම් භූමිය (ඉඩම්) ද වැදගත් යෙදවුමක් ලෙස සැලකිය හැකියි” මහාචාර්ය මාරඹේ යෙදවුම් සහ එහි අදාළත්වය තව දුරටත් පැහැදිලි කළේය.
මැදපෙරදිග අර්බුදය ආරම්භ වූ පසු මාර්තු මාසයේ දී ගැටුමේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වූ බව සිහිපත් කළ මහාචාර්ය මාරඹේ එය ශ්‍රී ලංකාවට කළ බලපෑම ද පැහැදිලි කළේය.
“අපේ රටේ ප්‍රධාන වගා කන්න දෙයක් තිබෙනවා. ප්‍රධාන කන්නය වන ‘මහ කන්නය’ ඔක්තෝබර් මාසයේ සිට ඊළඟ වර්ෂයේ පෙබරවාරී දක්වා ක්‍රියාත්මක වෙනවා. වී බෝගය ගත්තොත් ඔක්තෝබර් මාසයේ පැළ කරන්න පුළුවන්, නමුත් අස්වැන්න නෙළන්නේ ඊළඟ අවුරුද්දේ. දෙවැනි කන්නය තමයි, එම වසරේම පටන් ගෙන, එම වසරේම අස්වැන්න නෙළන්න පුළුවන් ‘යල කන්නය’. යල කන්නය සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ මාර්තු මාසේ මැද සිට අගෝස්තු, සැප්තැම්බර් කාලය දක්වා එය ගමන් කරනවා. මැදපෙරදිග අර්බුදය ආරම්භ වුණේ මහ කන්නයේ අස්වැන්න නෙළා ගන්නා අවස්ථාවේදීයි. ඒ නිසා මැදපෙරදිග අර්බුදය සමඟ උද්ගත වුණ පොහොර ගැටලුව අපට සංවේදී වුණේ නැහැ. නමුත් වර්තමානය වන විට වී වගාවේ ආරම්භය සහ අවසානය යාන්ත්‍රීකරණය වෙලා තිබෙන්නේ. බිම සකස් කරන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන්, ඒ වගේම අස්වැන්න නෙළන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන්”
මෙහි දී මහාචාර්ය මාරඹේ පෙන්වා දුන්නේ මහ කන්නයේ අස්වැන්න නෙළන අවස්ථාව වූ මාර්තු මාසයේ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වුවත් එමඟින් ‘විශාල පීඩනයක්’ ගොවි ජනතාවට එල්ල නොවූ බවයි.
මෙවර මහ කන්නයේ අස්වැන්නට දිට්වා සුළි කුණාටුවේ සහ ඊට පසුව වරින් වර ඇති අධික වර්ෂාපතනයේ බලපෑමක් ඇති වූ බව සඳහන් කළ මහාචාර්යවරයා ඒ හේතුවෙන් අස්වැන්නේ යම් අඩුවක් සිදු වූ බව ද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් නිල දත්ත සහ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත්කර නැතත් තමාගේ ඇස්තමේන්තුවට අනුව මහ කන්නයේ අස්වැන්නෙන් 12%ක පමණ අලාභයක් වාර්තා වූ බව මහාචාර්ය බුද්ධි මාරඹේ මෙහි දී හෙළි කළේය.
මෙවැනි තත්ත්වයක් තුළ යල කන්නයට පිවිසෙන බවත්, මැදපෙරදිග අර්බුදය හරහා උද්ගත වන ගැටලු බොහොමයකට යල කන්නයේ දී මුහුණ දීමට සිදුවන බවත් මහාචාර්ය මාරඹේ පැවසුවේය.
“පොහොර ගැටලුව උද්ගත වෙලා තිබෙනවා, පළිබෝධනාශක ආනයනය කර වසර කිහිපයක් තබා ගෙන සිටින නිසා මේ මොහොතේ පළිබෝධනාශක සම්බන්ධ ගැටලුවක් උද්ගත නොවුණත් ඒකත් මේ ගැටලුවේම පැතිකඩක් ලෙස සැලකිය හැකියි” මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේය.
මැදපෙරදිග යුධ තත්ත්වය පොහොර සහ ඉන්ධන ප්‍රවාහනයට ඍජුව බලපා ඇති බවත් ඒ හේතුවෙන් අදාළ නිෂ්පාදනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මහාචාර්ය මාරඹේ මෙහි දී පෙන්වා දුන්නේය.
“මෙම තත්ත්වය සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනවලට ඍජුව බලපානවා” මහාචාර්ය මාරඹේ කීවේය. ඔහුට අනුව මැදපෙරදිග අර්බුදය ආරම්භය වන විට ශ්‍රී ලංකාව සතුව යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පමණ තිබුණේය. ශ්‍රී ලංකාව යල කන්නයට පිවිසෙන්නේ මෙවැනි පසුබිමක් තුළය. යල කන්නයේ සාමාන්‍යයෙන් වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 450,000ක් පමණ වන අතර පසුගිය 2025 වර්ෂයේ එම අගය 500,000 ඉක්මවා තිබුණේය.
“ආණ්ඩුව යල කන්නය ආරම්භයේ දීම කිව්වා මෙවර හෙක්ටයාර් 550,000ක් පමණ වගා කළ යුතුයි කියලා. නමුත් මෙහි ගැටලු කිහිපයක් තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසාන වරට වී සඳහා පොහොර නිර්දේශයක් ලබා දී තිබෙන්නේ 2013 වර්ෂයේදී. මුළු රටටම එක නිර්දේශයක් ලබා දුන්නේ නැහැ. විවිධ කලාපවලට, වගා කරන ක්‍රමවේදය (වාරි මාර්ග ද අහස් දියෙන් ද ) වැනි කාරණා මත පදනම් වෙමින් තමයි පොහොර නිර්දේශය ලබා දුන්නේ. ඒ වගේම ලංකාවේ වී වගා කරන සෑම ග්‍රාම නිලධාරී වසමකටම කුමනාකාරයේ පොහොර නිර්දේශයක් ද තිබෙන්නේ කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇප් එකකුත් නිර්මාණය කරලා තිබෙනවා”
මෙහි දී මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පෙහොර නිර්දේශය යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමකට ලක් කළේය. මහාචාර්ය මාරඹේ සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වාර්ෂිකව වී වගාව වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 247,000ක් අවශ්‍ය බවයි. යල කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 98,800ක් ද, මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 147,200ක් අවශ්‍ය බව මහාචාර්ය මාරඹේ කීවේය.
“මේ ප්‍රමාණය අවශ්‍ය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයට අනුව ගියොත් සහ පොහොර නිකුත් කළොත් පමණයි. මේ පදනම තුළ මෙවර යල කන්නයේ සමස්ත වගාව වෙනුවෙන් පවතින යූරියා තොග ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්නය තමයි අපි යල කන්නයේ සුළු වශයෙන් හෝ බඩඉරිඟු වගා කරනවා. ඒ වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 12,800ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම එළවළු, පලතුරු සහ අල බෝග වගා කරනවා. මේවා වෙනුවෙන් ද මුල් මාස හයේ යූරියා මෙට්‍රික් ටොන් 43,000ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම තේ, රබර්, පොල්, ගම්මිරිස් යනාදී බහු වාර්ෂික බෝග වෙනුවෙන යූරියා මෙට්‍රික් ටොන් 62,000ක් පමණ අවශ්‍ය වෙනවා. මේ අනුව සමස්ත බෝග වගාව නිසි ආකාරයෙන් කර ගන්න අවශ්‍ය පොහොර ප්‍රමාණය අප සතුව නැහැ” මහාචාර්ය මාරඹේ රට හමුවේ පවතින අනතුර දත්ත සහිතව විශ්ලේෂණය කරමින් පෙන්වා දුන්නේය.
මහාචාර්ය මාරඹේ පැවසුවේ මැදපෙරදිග අර්බුදය ආරම්භයේ දී පොහොර හිඟයක් ඇති නොවන බවට ගොවිජනතාවට සහතික වූ රජය මාර්තු මාසයේ මැද භාගය පමණ වන විට අනතුර හඳුනා ගත් බවයි.
“ආණ්ඩුව යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ආරම්භය ප්‍රමාද වැඩියි කියලා මට හිතෙනවා. අපි චීනයත් සමඟ යම්කිසි එකඟත්වයකට ආවා. නමුත් චීනයටත් සිදු වුණා යූරියා අපනයනය තහනම් කරන්න. ලෝකයේ දෙවැනියට යූරියා නිෂ්පාදනය කරන ඉන්දියාවත් යූරියා අර්බුදයකට මුහුණ දීලා සිටිනවා. ඒ වගේම කටාර් රාජ්‍යයේ යූරියා නිෂ්පාදනය කරන විශාලතම කර්මාන්තශාලාව විනාශ කළා”
මෙහිදී මහාචාර්ය මාරඹේ පෙන්වා දුන්නේ යූරියා තොග රැස් කර ගැනීමේ ශ්‍රී ලංකාවේ සැලසුම ගෝලීය ප්‍රවණතා හමුවේ අසාර්ථක වූ බවයි. පසුගිය දිනවල පුද්ගලික අංශය විසින් ආනයනය කරන ලද යූරියා මෙට්‍රීක් ටොන් 20,000න් 68%ක ප්‍රමාණයක් රජය විසින් ලබා ගත් බව ද මෙහි දී මහාචාර්ය මාරඹේ හෙළි කළේය.
“ආණ්ඩුව මේ හදන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී වගාවට යූරියා පොහොර ටික ලබා දෙන්න. මේ හරහා රජය අනෙකුත් බෝග අමතක කරලා තිබෙනවා. රජය සිය සම්පූර්ණ අවධානය වී වගාව වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා, මේ හරහා යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනගිනවා” යැයි කී මහාචාර්ය මාරඹේ මාර්තු මාසයේ යූරියා මිල සහ අප්‍රේල් මාසයේ යූරියා මිල අතර විශාල වෙනසක් තිබූ බව ද පෙන්වා දුන්නේය. “මේ පසුබිම තුළ යූරියා පොහොරවල මිල සම්බන්ධ විශාල ගැටලුවක් උද්ගත වෙනවා” මහාචාර්ය මාරඹේ අනතුරු ඇඟවීමක් ද සහිතව සඳහන් කළේය.
- MIDPOINT -
Lanka Newsweek © 2026